Sunday, October 28, 2012

මගේ පුංචි රෝස මල

තවත් මලකට කෙසේ පියඹන්නද
වසා සිටි මලේ රොන් සුවඳ අමතක කොට,
වසා සිටියත්, රොන් රසය වින්දත් කාලයක් පුරාවට
ලොවට හොරෙන්,

හැර යන විට සෝ සුසුම් මැද
බලා අන් බඹරෙකු රොන් උරනවා
තැවෙමි ගිනිගෙන දැවෙන හැදින් යුතුව

කටු ඉත්තක් මතින් පැමිණියෙමි
එමල සිපගනු පිණිස
නමුදු සිපගන්නට වරම් නොලැබුවෙමි
එමල පිපෙනවා දැක දැක

දනිමි මා එනතුරු ඔබ බලා සිටින බව
දුටිමි පෙති විහිද පිපුණු අපුරුව
දැනුනි ඔබ වෙතින් හමු ඒ රොන් සුවඳ
සිහිකරමි පෙමින් වේලි සිටි ඒ සොඳුරු අතීතය

කාලය ගතවේවි නොසිතු තරම් සෙමින්
සොයමු පැනයට ආදරණීය පිළිතුරක්
කවදා හෝ ලැබේවි ඒ පිළිතුර
කවදාද එන්නේ ඒ සොඳුරු දවස

ජීවිතය ගෙවේවි අඩුවක් ඇතිව
ඒ නම්,
සැමදා මා පැතූ ඔබේ නිර්මල ආදරයයි

Monday, October 8, 2012

තාත්තා



ජීවිතයේ අපුරුම සතියක කාලයක් සිහියට නැගුනු නිසා මේ කතාව ලියන්න සිතුවෙමි. කතා නායකයා විමලදාස මාමායි. සරලවම කියනවනම් උගත්, බුද්ධිමත්, පරිණත, එනමුත් සරල මනුස්සයෙකි. පෝය දවසක පන්සලේ දී මම අහපු ප්‍රශ්නයකට විමලදාස මාමා දීපු උත්තරයක් මට අද වගේ මතකයි.
“මිනිස්සු කියන ජාතියට නම් සැනසීමක් ඇත්තෙම නෑ පුතේ, හැමතිස්සෙම දුවනවා, දුවනවා, දුවනවා. සාපේක්ෂව ගත්තම කොච්චර හොඳ තැනක හිටියත් එකත් මදි. ඔය වෙලාවට හිතෙනවා බුදුහාමුදුරුවෝ කියල තියන දේ කොච්චර ඇත්තද කියල.  මමත් දැන් ජීවිතේ ගොඩක් කල් ගෙවල ඉවරයි. ඒත් මමත් තාම දුවනවා. කොච්චර දිව්වත් අපිට එපා වෙන්නේ නැති එකනේ පුදුමෙ. ඔය දිවිල්ල නවතින්නේ ඉතින් අපි මැරිච්චි දවසට තමා. පුතා අහපු දේට උත්තරේ ඔතන ඇති කියල මම හිතනවා”.
ඉතින් විමලදාස මාමගේ කතාව මෙසේ විය යුතු යැයි මම සිතමි.
“මේ ඇහුනද? යමුද ලිඳෙන් වතුර ටිකක් නාගන්න?”
“ආයේ අහවල් දේකට මහන්සි වෙනවද? දැන් ඉස්සර වගේ නෙමෙයි, නාල ඉවරවෙනකොට හැති”
“ඒ උනාට ලිඳෙන් ඇඟට වතුර ටිකක් වැටෙනකොට දැනෙන සනීපෙ. අනික මේ දවස්වල රස්නෙත් වැඩි”
“ඉතින් කරාමෙත් එන්නේ ලිඳේ වතුරමනේ”
මම කියන දේ හොඳින් යට වැටහුනත් මගේ ආදර බිරිඳ මෙසේ මාත් සමග මෙසේ පවසන්නේ  හිස් දෙබසකට මුල පිරීමටයි. වයසක අපි දෙන්නට කතාකරන්න දෙයක් තියෙන්නත් එපැයි.
"ඔහේ මම කියන එක අහල යමුකෝ ඩිංගක්, දෙන්නම ගිහින් නාගෙන එමු".
වත්තේ පහල කෙලවරට වෙන්න තියන ලිඳෙන් නාගත් විට දැනෙන සනීපය අපි දෙදෙනාම හොඳින් දන්නෙමු.
ලිඳේ ගල්පදිය ගාව ඉන්දගත්තෙමි. ඇය පළමු වතුර පනිට්ටුව සීරුවෙන් මගේ ඇඟට වත්කලාය. සියක් දහසක් මතකයන් සිහියට නැගෙන්නට විය.
"ලොකු පුතේ චුටි නංගිගේ සබන් ගාන්න. පොඩි පුතා, මෙන්න මෙහාට එනවා ඔය කැලෑව අස්සේ රිංගන්නේ නැතුව. සර්පයොත් ඇති. ආ, තව වතුර පනිට්ටු දෙකක් දාගෙන සබන් ගාගන්න".
ඇය දෙස බැලුවෙමි. ඇය දියරෙද්ද පටලවාගෙන අවසානය.
“ඔහෙත් මෙතනිනං ඉඳගත්තනං” මම කීවෙමි.
“අප්පෝ සීතලයි තාත්තේ” ඒ ඇයයි.
ඇයත් දරුවෙක් මෙන් හැසිරෙන්නීය. මට තාත්තා කියයි. මමත් වෙලාවකට අම්මා කියා අමතමි. ඔව්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සැබෑ මවකි. මට දරුවන් පස් දෙනෙකි. කොල්ලෝ තුන් දෙනෙකුත් කෙල්ලෝ දෙන්නේකුත්ය. කෙල්ලෝ දෙදෙනා බාලයෝය. පස්දෙනාම අද මගේ ගෙදර නැත. උන් උන්ගේ කූඩු හදාගෙන ගිහින්ය. තනිවම ආඩම්බරවෙමි. පස්දෙනාම දක්ෂයෝය. හොඳට ඉගෙනගත්හ. මමත් ඇයත් ගුරුවරුන් වීම එයට හේතු වන්නට ඇති. උන් සියලු දෙනාම මටත් අම්මාටත් හොඳින් සලකති.
"ආ සබන් ගාගත්තනං"
පියවි ලෝකයට පැමිණියෙමි. සබන් කෑල්ල මගේ අතට දී ඇය නාන්නට වූවාය. ඉස්සර දරුවන් පස්දෙනාම මෙතනට ගෙනවිත් නාවන්නෙමි. සියලු දෙනාවම නෑවුවාට පසු මමද නාගන්නෙමි. උන්ගේ කර දඬු උස වෙද්දී සියලු දෙන එකට නෑම ක්‍රමයෙන් මගහැරෙන ලදී. නිසි කල පැමිණෙද්දී ඔවුහු විවාහ වුහ. පළමුව ලොකු පුතාත්, පිලිවෙලින් අනෙත් අයත් විවාහ වුහ. කාලයේ අවශ්‍යතා අනුව රැකියා සඳහා නගරයට පිටත්වූහ. සියලු දෙනාම තම තමන්ගේම වාසස්ථාන කරා ගියහ. ඇයත් මමත් තනි වුනෙමු.
දරුවෝ සියලුම දෙන අම්මාත් තාත්තත් උන්ගේ ගෙවල්වලට ගෙන්නගන්න කැමැත්තෝය. අනේ, ඇගේත් මගේත් අප්‍රමාණ වෙහෙසකින් කැපවීමකින් හදාගත්තු ගෙදර අමතක කරලා කොහොම එන්නද පුතේ.
හැම මසකටම වරක් පස්දෙනාගෙන් කාගේ හෝ ගෙදරකට යන්නෙමු. දවස් දෙක තුනක් නැවතී ඉන්න විට ගෙදර හදන්න තේක්ක කඳන් කරේ තියාගෙන ආපු හැටි, බාසුන්නහෙලා එක්ක හරි හරියට සිමෙන්ති අනපු හැටි, ගෙදර හදල අහවර වෙනකල්  කටු මැටි ගෙදරක ජීවත් වෙච්චි හැටි එක කාමරේක හැමෝම ගුලි වෙලා නිදාගත්තා හැටි මතකෙට එයි. ඉතිං තවත් මෙහෙ ඉන්නට බැරිය. ඇයත් සමග ආපසු ගෙදර එන්නෙමි. නැවත මසකට පමණ පසු දරුවන්ගේ බල කිරීමට  උන්ගේ නිවෙස්වලට යමි.
"ඔහේ නාගෙන අහවරද?" මම ඇයගෙන් ඇසුවෙමි.
"ඔව්, අපි යමු. ඇඟ හොඳට පිහදගන්න. සීතල හැදෙයි".
ඇයත් කැටුව ගෙදර පැමිණියෙමි.
එක අතකට අනෙක් දෙමවුපියන්ට වඩා අප දෙදෙනා කොතරම් නම් වාසනාවන්තද. මට ආර්ථික අඟ හිඟකම් නැත. හිතට වද දෙන මහලොකු වගකීම් නැත. අප දෙදෙනාගේ විශ්‍රාම වැටුප් ජීවත් වීමට හොඳටම සෑහේ. එහෙත් හිතේ ලොකු අඩුවක් තිබේ.  මගේ දරුවන් අද මගේ ළඟ නැත. ඉස්සර වගේ උන් මගේ ගෙදර තියාගන්න බැරිය. වසරක කාලයක් තුලදී අම්මාටත් මටත් ප්‍රීතිය ගෙනදෙන මාස තුනක් පවතී. එනම් මගේ මුණුබුරන්ට පාසල් නිමඩු ලැබෙන කාලයයි. ගණනින්, එකොලොස් දෙනෙකි. ලබන වසරේදී එය දහතුනක් වනු ඇත.  නිමාඩු කාලයට පොඩි උන් සියල්ලම මහගෙදර පැමිණෙති. එහෙමත් සතුටක්, ඒ කාලයට සිතින් පමණක් නොව ගතින් ද සෞඛ්‍යසම්පන්න වෙමි. උන් එක්ක  හරි හරියට වත්ත පුරා දුව පැන සෙල්ලම් කරමි. අනේ වාසනාවන්.
"මොකෝ තනියම හිනාවෙන්නේ?" ඇයඇසුවාය.
"නිකං, පොඩි උන් මතක් උනා".
"අනේ, මේ සැරෙත් එයිනෙ හැමෝම".
"බඩගිහි හොඳටෝම, කවනවද මට?"
"මොකෝ මේ උදේ ඉඳන් පොඩි දරුවෙක් වගේ?" ඇය ඇසුවාය.
මම සිනාසී ඇයට ටොක්කක් ඇන්නෙමි, රිදුන වගෙයි. ඔලුව අතගෑවෙමි.

උඩ තියන පින්තුරේ ගත්තේ මෙතනින් - http://www.mamohanraj.com/SriLanka/sri3.html
පින්තුරයක් එවල මේ කතාවට මොරාල් දීපු බටු ඇටේට ස්තුතියි.

Tuesday, October 2, 2012

හුදෙකලාව



හුදෙකලාවේ තනි වී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ
සංගීත් විජේසුරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායම ගායනා කරන අපි කව්රුද ගීතයෙන් කොටසක්,

හුදෙකලාව කියන දේ නම් සිහින ආකරේක වැටෙන්න අපිට උදවු වෙන හොඳම දේ කියල තමා මට හිතෙන්නේ. ලිපි කිහිපයක්ම ලියන්න හිතේ තියාගෙන හිටියත් ඔය කියන හුදෙකලාව නැතිවුනු නිසා ලියගන්ඩ බැරි උනා.
හුදෙකලා වෙන්න අපි අන් අයගෙන් ඈත් වෙන්න ඕනෙ උනාට සිහින ආකරේක වැටෙන්න නම් හුදෙකලා වෙන්නම ඕනේ නෑ. මහා සෙනගක් මැද්දේ උනත් සිහින ආකාරේට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ හුදෙකලාවීමයි සිහින ආකරේක වැටීමයි කියන ක්‍රියා දෙක එකිනෙකින් ස්වායක්තයි වගේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරයිත් වගේ. මට පිස්සු වගේ.
බස් එකේ තනි අතෙන් එල්ලිලා යන වෙලාවක, ලෙක්චර් එකක් මැද්දේ, අහ්, ඇයි පාඩම් කරන වෙලාවට වගේ ඕනෙම තැනක ඔය කියන සිහින අකරේක වැටෙන්න පුළුවන්.
ඒ මොනා උනත් පොඩි කාලේ ඉඳන් මම කැමතියි ඔය වැඩේට. ඔලුවට වදදෙන හැම ආතතියකින්ම නිදහස් වෙලා මගේම කියල මනඃකල්පිත ආතල් ලෝකෙක තනියම ගිලෙන්න. හිතන්නේ සතුට දැනෙන දෙයක් ගැන නම් ඒ වෙලාව ගැන කියන්න වචන නෑ. ඒ වෙලාවට ඉතින් බාධක කරදර මොකුත් නෑනේ. අනික අපිව සතුටු කරන, අපිට ඕනෙකරන දේවල් විතරයි අපිව වටකරගෙන ඉන්නෙ. මේක කියවන ගොඩක් දෙනෙකුත් එහෙමයි කියල මම දන්නවා.
තවත් ඉතිං ගැඹුරට හිතනවානම් හුදෙකලාවෙත් ගොඩක් ප්‍රභේද තියනවා. ඒ ගැන කියන්න ගියොත් මේ පොස්ට් එක මාගලක් වේවි. කරන්න වැඩක් නැතුව කාලය ගතකරන වෙලාවක මගේ පෑන් තුඩට ගලාගෙන ආපු අදහස් ටිකක් ලියන්නයි ඔය විස්තරේ කිව්වේ.

                 මනඃකල්පිත සිතුවිලි ගොන්නකට,
ඇරයුම් කරන හුදෙකලාව,
                          තනිකම නම් හැඟුමෙන්,
     සිතත් ගතත් වේලාගන්න හුදෙකලාව,
     කටුක බැඳීම් වලින් ලෙහා,
    නිසොල්මනට බැඳදමන හුදෙකලාව,
       සොඳුරු අඳුරු අතීත මතක,
  හාරා අවුස්සන හුදෙකලාව,
  වර්තමානය ගෙවා දමා ,
සුන්දර අනාගතයකට සිහින කැන්දන හුදෙකලාව,
කාලය ප්‍රශ්න විසඳද්දී,
මාත් සමග කල්මරන හුදෙකලාව,


හුදෙකලාව, උඹ නම් මාරයි මචං 
පින්තුරේ ගත්තේ මෙතනින් - http://shaikhhashim.blogspot.com/2012/01/lonely-images.html